Sunday, May 24, 2020

යාපනේ උරුමය 1 - "නම්පොතේ සදහන් කදුරුගොඩ විහාරය"

 නම්පොත එහෙමත් නැතිනම් මහනුවර යුගයේ ලියවුනු විහාර අස්න ....ඒකෙ සදහන් විහාරයක් ගැන කියන්නයි අද මම ලෑස්තිවෙන්නේ.. (හැමදේටම කලින් මෙහෙම ඇවිදින්න,දේවල් හොයන්න බහ තෝරලා දුන්න දෙමවුපියන්ට පින් දෙන්න ඕනේ.)

චුන්නාකම්/කදුරුගොඩ කියුව ගමන ඔයාලාගේ  මතකෙට එන්නේ මොකද්ද ??? උතුරු පළාත . යුද්ධය ... නෑ මම අද කියන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. මේ තියන වටිනාකම දන්නේ හරිම අතලොස්සක්. මේ කතාවේ විස්තර මට කියන්නේ ස්වාමින්වහන්සේ නමක් නෙවෙයි. මේ කියන තැන බලාගන්න යුධ හමුදාවෙන් මුර කුටියක් ,පොඩි කෑම්ප් එකක් තියනවා එහන හිටපු තිලකරත්න කියන යුධ හමුදා නිලධාරියා.

මම ගිහින් උවමනාවෙන් කම්බිවට වටේ යනගමන් එක අස්සෙන් රිංගලා චායරුප ගන්න යද්දී මෙන්න මෙහෙම කිව්වා. "ඉගනගන්න උනන්දුයි වගේ නේද? මම මේ කියන ටික ලියාගන්න.. මේ කියන ඒවගෙන් ටිකක් අන්න අර ඉස්සරහ බෝඩ් එකෙත් දාලා තියනවා ". ඉතින් ඔන්න ඔහොම මම හරිම ආසාවෙන් කතාව අහගන්න පටන්ගත්තා ..

මම දන්නා දේවල් ටිකයි ඒ වීරයා කියලා දුන්න ටිකයි එකතුකරලා මම කතාව පටන්ගන්නම් ..

චුන්නාකම් එහෙමත් නැත්තන් හුණුගම මේ කියන ස්ථාන එක්ක එක ලගමතමා කදුරුගොඩ විහාරයයි දාගැබ් සංකීර්ණයයි පිහිටලා තියෙන්නේ.යාපනේ ඇවිදින කෙනෙක් නොවරදවාම යන්න ඕනේ ගමනක් තමයි මම මේ කියන්න යන්නේ.යාපනේ නගරයේ ඉදන් 13km ගෙවාගෙන මනිපායි පාරේ ගිහින් ඒ හන්දියෙන් දකුණට හැරිලා උඩුවිල් වලට යන්න ඕනේ එතන ඉදන් කදුරුගොඩට පාර හොදට සදහන් වෙලා තියනවා.

මේ ගැන කතා කරනකොට විශේෂ කරු කාරනා කිහිපයක් තියනවා .

1. උතුරු පළාතේ පිරිසිදුම මිරිදිය ජලය තියෙන්නේ මේ චුන්නාකම් කදුරුගොඩ කියන ප්‍රදේශ වල. අපි හැමෝම දන්නවා මාතලෙන් ඉහලට යනකොට ඒ කියන්නේ දඹුල්ල අනුරාධපුර වවුනියා යාපනේ පැත්ත ගත්තම භුමි අබයන්තර සැකැස්ම කදුකරයට වඩා වෙනස්.ඒ පැත්තට යනකොට පොලව අභ්‍යන්තරයේ හිරිගල්/හුණුගල් ස්ථරයක් පිහිටනවා මේ හින්දා එක පහුකරගෙන එන උල්පත් ජලයේ කැල්සියම් කාබනේට් (CaCO 3) සහ මැග්නීසියම් කාබනේට් (MgCO2) කියන රසායනික සංඝටක තියන හින්දා කිවුල් රසයක් දැනෙනවා. "හැබැයි මේ හුනුගම කදුරුගොඩ හම්බවෙන මිරිදිය ජලයේ මෙන්න මේ කිවුල් රසය පවතින්නේ නෑ. එක හින්දා මේ ප්‍රදේශය විශේෂිතයි.

2. අපි දන්නවා ශ්‍රීලංකාවට සගමිත් තෙරණිය "ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව" වැඩම්මවන්නේ "ජම්බුකොළ පට්ඨනයෙන් හෙවත් දබකොලපටුනෙන් " වර්තමානයේ කන්කසන්තුරය ස්ථානයෙන් .කදුරුගොඩ විහාරය වැදගත්කමක් දක්වන්නේ මේ එන ගමනේදී ජයශ්‍රී මහා බෝධින්වහන්සේ තැන්පත් කරලා තිබ්බ තැනක් කියලා තියනවා ,

3. දේවානම්පියතිස්ස රජ කාලේ දක්වා ඉතිහාසයක් මේ විහාරස්ථානයට තියනවා,දේවානම්පියතිස්ස රජතුමා අනුරාධපුරේ ඉදන් දඹකොළ පටුනට හදපු පාරේ දම්බකොලපටුනේ ඉදන් පළමු නවාතැන්පොල එහෙමත් නැත්තන් පළමු විහාරස්ථානය කදුරුගොඩ කියලා මහාවංශයේ සදහන් වෙනවා .

4. මහරහතන් වහන්සේලා මෙහි වැඩසිටිබවටත් ආරම සංකීර්ණයක් මෙහි තිබුණ බවටත් එය දේවානම්පියතිස්ස රජුන් විසින් ආරම්භ කල බවටත් ( 250 ක්‍රි.පු. -210 ක්‍රි .පු ) ඔහුගේ මලනුවන් කෙනෙකු වූ සුරතිස්ස තව දුරටත් මෙය වැඩිදියුණු කල බවත් සදහන් වෙනවා.

5.පුන්කුඩුතිවු දුපතේ සිටි රහතන් වහන්සේලා 60 නමකගේ සමුහ භෂ්මාවශේෂ තැන්පත් කුඩා ප්‍රමාණයේ චේතිය අඩංගුවන ,ලිඛිත ශාක්ෂි සහිත එකම දාගැබ් සංකීර්ණය මෙයයි(මේ වන විට එවන් දාගැබ 57ක් පමණ සොයාගෙන ඇති බවට වාර්තාවෙනවා ..

6.බුදුන් වහන්සේ ලංකාගමනයේදී  සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයක් ලෙසද හැදින්වෙනවා.


ඉතිහාසගත කරුණු (අසා සොයා දැනගත් )

දෙවන පෑතිස් රජුගෙන් ආරම්භ වන මෙම විහාර සංකීර්ණයට වටදාගේ දාගැබ් සහ අංග සම්පුර්ණ විහාරයක් සතු සියලුම කොටස් අඩන්ගුවෙනවා. ඉන් පසුව රජ පැමිණි වළගම්භා,භාතිකාභය කියන රජ දවස ප්‍රතිසංස්කරණය ව්වි ඇති බවට මහාවංශය සාක්ෂි දරනවා.

මුලින්ම මෙහි කැණීමක් ,පුරාවිද්‍යාව සම්බන්දව දෙයක් සිදුවන්නේ 1906 දිලූ ,හැබැයි ස්ථිර කැනීම් කටයුතු අරම්බවෙන්නේ 1916 දී යාපනේ දිසාවිනිසුරු වන පෝල් ඊ පීරිස් තුමාගේ නීතිමය/ලිඛිතමය ඉල්ලීමෙන් පස්සේ .මෙහි සිදු කරනලද කැනීම් වලින් අන්රධපුර හා පොළොන්නරු යුගවලට අයත් පුරාවස්තු සොයාගැනීමත් සමගම 1 වන පරාක්‍රමභාහු , ලීලාවතී , බුවනෙකබාහු ,නිශ්ශංකමල්ල යන රජවරුන්ගේ කාලයේදී ප්‍රතිසංස්කරණයට ලක්වී ඇති බවට සාක්ෂි හමුවනවා ( කාසි ,උලුකබලෝ ). ක්‍රි .ව .900 අයත්වෙන "ඇත්තානේ ටැම් ලිපිය " ත් මෙහි කරපු කැණීමකින් හම්බුනා කියලයි සදහන් වෙන්නේ ,කොහොම නමුත් ඒකෙ හැටියට 4වැනි කාශ්‍යප රජතුමාත් මේ විහාරයට ගම්වරයක් ප්‍රධානය කරලා තියනවා.

ක්‍රි.ව. 1600 (විමලදර්මසුරිය රජ්ජුරුවොන්ගේ කාලේ)වෙනකොට ලංකාව රාජ්‍යන් වලට බෙදිලා තිබුනා ඒ අනුව උඩරට වෙනම රජයකුත් මය රට වෙනම පාලනයකුත් උතුරු ප්‍රදේශය දමිළ පාලයකුත් තිබු බවට මහාවංශය සදහන් කරනවා.මේ කාලේ උතුරු දිශාව පාලනය කරපු "සංගිලි " කියන පාලකයාගේ කාලයේ මේ කදුරුගොඩ විහාරය විනාශ කරලා තියනවා ,ඒ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පස්සේ සිදු උන ලොකුම විනාශය කියලත් සදහන් වෙනවා .

කොහොම උනත් දුකට කාරණයක් වෙන්නේ  1948 දී පුරාවිද්‍යා අංශයෙන් අක්කර 7ක් වෙන්කෙරුනත් 1965 වෙනකොට අවට ජනතාව මේ ඉඩම් අල්ලගන්න හින්දා අක්කර 4කට සීමා වෙනවා හැබැයි 2016 වෙනකොට තත්වය හුගක් වෙනස් ..මේ බුමිය මැදින් පාරක් ඉදිවෙලා භුමිය බෙදිලා එකෙන් පාලනය අතපහුවෙලා ඉඩම් නැතිවෙලා ,අනවසර පදිංචිය ,යුද්දය හින්දා මේ වෙනකොට " කම්බි වැටකින් වටවුන පර්චස් 8කට තරම් කුඩා භූමියකට "කොටුවුණ විහාරස්ථානයක් වෙනවා .අක්කර 4ක පුරාවස්තු දැන් විනාශ වෙලා, තියන ටික රැකගන්නෙත් අපේ හමුදා නිලධාරින් විසින් ..ඉතින් ඔබෙත් මගෙත් රට පාලකයින්ගේත් වගකීම වෙන්නේ මේවා සංරක්ෂණය කරලා ප්‍රතිස්ථාපනය කරන එක ..එකට ඔබෙත් මගෙත් වටිනාකාලය මිඩංගු කරන්න වෙනවා ...

හරි මම යන හැටි කියන්නම්කො ..

1.වෙනදාවගේම මගේ ගමනාරම්භය මහනුවර .මහනුවර ඉදන් පැය 8ක(350 km ) විතර ගමනක් .බස් එකේ යන කෙනෙකුට නම් යාපනයට ගිහින් .යාපනයෙන් උඩුවෙලි බස් එකේ යන්න ඕනි.හැබැයි යාපනේ යනවානම් තමන්ගේම වහනෙකින් ගියොත් මිට අමතරව තව පුජාභූමි ගොඩක් බලාගන්න පුළුවන් වෙයි.

අදවෙනකොට මේ ඉඩම් තව තවත් ඉඩම් මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවෙලා .. අනාගත පරපුරට මේ උරුමයන් රැකෙන්න ඕනේ කියන විශ්වාසෙ උඩයි මම නම් ඉන්නේ... අපේ උරුමය ආරක්ෂාවට යමෙකුගේ ඇස ඇරේවා !!

මේ මහා පොලවට කතා කරන්න පුළුවන් නම් එදා කොච්චර තේජසින් මේ විහාරය බබලුනාද කියලා කියාවි මේ ගල්කණු ගඩොල් පවා ..

ඇවිදින්න ........ රසවිදින්න ...... උරුමය සුරකින්න ...
සුභ ගමන් !!
-ඇවිදින ඉන්ජිනේරුවා-


Saturday, May 2, 2020

මහනුවර දිස්ත්‍රික්කයේ උරුමය 2 - උනම්බුවේ දිසාවගේ කෙහෙල්පත්තෙන් උපන් පත්තිරිප්පුවේ කතාව

 ඔන්න එහෙනම් නමොවිත්තියෙන් ලියන දෙවෙනි ලියමන. මේක ලියන්න මට තොරතුරු දුන්නේ සෙන්කඩගල  දිසාවේ ඉන්න ස්වාමින්වහන්සේ නමක්. ලියමන පටන්ගන්න කලින් උන්වහන්සේට පින් අනුමෝදන් කරන්න ඕනේ වගේම මෙතුවක් කාලයක් මේ වගේ දෙයක් කරන්න මට ශක්තියක් උන දෙමවුපියන්ටත් පින් දෙන්න ඕනේ.

හරි දළදා මාලිගාව ඉස්සරහ ගජරාමෙට එදඩිතරකන් පාන  අමුතු හැදෙකින් එකතු උන පත්තිරිප්පුවේ කතාව ඔන්න එහෙනම් අහගන්ඩකෝ. ව්‍යාකරණ සහිත පුරාජේරු මාතෘකාවෙන් කියුවොත් "උනම්බුවේ දිසාවගේ කෙහෙල්පත්තෙන් උපන් පත්තරිප්පුව " .

ඉස්සරෝම ඉතිහාසේ 

මේ වැඩේ කරන්න අදහසක් එන්නේ ශ්‍රී ලංකාවේ අන්තිම රජතුමා,ඒ කියන්නේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට, ඒ ක්‍රි.ව.1802 දී .ඒ තමයි මාලිගාව ඉස්සරහින් ජනතාව අමතන්න මොකක් හරි විශේෂ මණ්ඩපයක් හදන්න ඕනේ කියන එක.  කොහොමෙන් කොහොම හරි රාජසභාව කැදවලා රජතුමා මේ අදහස කියනවා.මේ වැඩේට හොද සැලසුමකුත් අරන් එන්න කියලත් කියනවා.ඉතින් මෙහෙම ගෙනාපු ආදර්ශන වලින් "උනම්බුවේ දිසාව " ගෙනාව කෙහෙල්පතුවලින් හදපු ආකෘතිය තෝරාගෙන හදන්න ඔහුටම භාරදීලා තියෙන්නේ .කොයිම වුනත් රාජසභාවේ ඕනිම කෙනෙක් දන්නවලු උනම්බුවේ දිසාව ඕනෙම වැඩකට දක්ෂයෙක් කියලා.ඉතින් වැඩේ බාරගත්ත උනම්බුවේ දිසාව "දේවේන්ද්‍ර අචාරියා " එක්ක එකතු වෙලා වැඩේ ඉවරකරලා තියනවා ... එදා ඉදන් අද වෙනකන් හෙළයන්ගේ මුදුන්මල්කඩ වෙච්චි ශ්‍රී දළදා මාලිගාවේ ඉස්සරහා හරි උජාරුවට මේ පත්තිරිප්පුව වජබෙනවා.මෑතක් වෙනකන් ශ්‍රී ලාංකීය රජ පරම්පරාව දිවුරුන් දීපු,ජාතිය අමතා කතාකරපු තැන තමයි පත්තිරිප්පුව කියන්නේ.1998 වෙච්ච බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ රත්තරන් ආලේප කරපු කොත දැන් පත්තිරිප්පුව ඇතුලේ ප්‍රදර්ශනයට තියලා තියනවා .. ඒ වගේම "දලදාවතුර "ඇතිවෙන්න වහින වෙලාවේ පිරිත් කියන්න ගත්තු එක තැනකුත් තමා පත්තිරිප්පුව කියන්නේ. තව එකක් "ජනමතයක් තියනවා රාජ මහාමාත්‍යාදීන්ගේ නෝනාවරුන් මෙතනට ගෙනියන්න හොද නෑ අහිතක් මයි වෙන්නේ "කියලත්.

කවුද මේ උනම්බුවේ දිසාව ? 

 උනම්බුවේ දිසාව ගැන නම් ලොකුවට කියන්න විස්තරයක් දැනගත්තේ නා,උන්වහන්සේත් ජනප්‍රවාද වලින් ගුරු පරම්පරාවෙන් දන්නා එක කතාවක් කිවුවා. එක තමා උනම්බුවේ පරම්පරාව පැවත එන්නේ උඩ පලාතෙ උපනම්බුව ප්‍රදේශයේන් කියන එක .හැබැයි මේ පරම්පරාව ලංකාවේ ය නෙවේ උතුරු ඉන්දීය ක්ෂත්‍රියයෝ , 12-13 වෙනි සියවසේ ලංකාවට ආවා කියලා මතයක් තියෙන්නේ. "උනම්බුවේ දිසාව" කියන්නේ සෙල්ලම් නිරිදුගේ,ඒ කියන්නේ සිංහලේ අන්තිම රජතුමා වෙච්ච ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අන්තත්පුරේ හිටිය උනම්බුව පරම්පරාවේ දේවියට දාව උපන් පුත්කුමරයෙක් කියලා සදහන් වෙනවා.කොහොමෙන් කොහොමෙන් හරි අගබිසව නායක්කර් වුන හින්ද කුමත්රනෙකින් රාජාධි රාජසිංහට බලය ලැබුනලු. මේ පුත් කුමාරය පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මැතිසබේ දිසාවක් හැටියට වැඩ කරා කියලා තමා කියවෙන්නේ.ජිවිතේ අන්තිම කාලේ ශරීරයේ  දිසාවක් පන නැතිවෙලා මරණයට පත්වුණා කියලා ජනප්‍රවාද වල කියවෙනවලු.

දේවේන්ද්‍ර ආචාරියා 

දේවේන්ද්‍ර ආචාරියා ,නැත්තන් දේවේන්ද්‍ර මුලචරියා ,මොහුගේ උපන් ගම වෙන්නේ ජනප්‍රවාද වල හැටියට මාතලේ.හැබැයි පොඩි කළෙම මොහු ඇවිල්ල තියනවා කොත්මලේට.කොත්මලේ ඉතිහාසය ගත්තොත් අනුරාධපුරේට යනකන් කියන්න පුළුවන්.සංදිස්ථානයක් හැටියට ගැමුණු කුමාරයා හැංගිලා හිටියා කියන්නෙත් මේ කොත්මලේ .කොත්මලේ ගණිතයා ඒ කාලේ වගේම මේ දේවේන්ද්‍ර කියන ආචාරියාගේ කාලෙත් ඉදලා තියනවා .සමහරෙක් කියන විදියට කොත්මලේ ගනිතයෝන්ගෙන් එක්කෙනක් තමයි මේ දේවේන්ද්‍ර මුලාචරියා කියන්නේ. කොහොම උනත් අෂ්ටශ්‍රයක් වෙච්ච පත්තිරිප්පුව හදන්න ගණිතය පිළබද හසල දැනුමක් තියෙන්න ඕනේ පුද්ගලයෙක් වෙන්න ඕනේ හින්ද අපිට එක අතකට හිතන්න පුළුවන් ඒ කතාව ඇත්ත වෙන්නත් ඇති කියලා .කොහොම උනත් මේ අචාරියාට හන්දෙස්සෙන් ගම්වරයක් ලැබිල ජිවිතේ අග භාගය දිවිනසාගනිමකින් හන්දෙස්සේදී කෙලවර වෙලා තියනවා කියලා ජනප්‍රවාද වල සදහන් වෙනවා .

දැන් පත්තිරිප්පුව 

දැන් පත්තිරිප්පුව ගැන විස්තරයක් කියනවනම්, දැනට මෙහි තැන්පත් කරලා තියෙන්නේ පුස්කොලපොත්,ත්‍රිපිටකයට අදාල පැරණි පොත් ,ඒ වගේම දේශ දේශාන්තර වලින් මාලිගාවට පුජ කරපු පුජාභාණ්ඩ ඒ වගේම පත්ත්රිප්පුවේ කොත .මැණික් ඔබ්බවූ පිළිමවහන්සේලා වගේ වටිනාකියන දේවල් .ඒ වගේම මේ පත්තිරිප්පුවේ පහල මාලයට ඇතුල් වෙන්නත් පුළුවන්ලු,විශේෂ අවසරයකින් .පැරණි මාලිගාවේ මුළුතැන්ගෙය තිබ්බ තැනලු පත්තිරිප්පුව හදලා තියෙන්නෙත්.

කොහොම උනත් මාලිගාවට මෙකි නොකී අලංකාරයක් එකතු කරන,ලෝක උරුමයේ කොටහක් වෙන  පත්ත්රිප්පුව අදට වගේම අපේ අනාගත පරම්පරාවට ඉතුරු කරගන්න එක අපි හැමෝගෙම මහගු කාර්යභාරයක් ...

මතු පරපුර උදෙසා  මේ සංස්කෘතික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුජාභුමින් රැකගැනීම ඔබෙත් මගෙත් යුතුකමක් වනු ඇත.

# ඇවිදින්න .....සුරකින්න.... මේ ඔබෙත් මගෙත් උරුමයයි.... #